අඩු ආදායම්ලාභී පවුල්වල වයස අවුරුදු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රජය විසින් ලබා දෙන මාසික දීමනාව රුපියල් 5000 දක්වා ඉහළ නංවා ඇත. මෙම දීමනාව හිමිවන පිරිස මිලියනයක් දක්වා පුළුල් කිරීමට ද පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත්, ජාතික හැඳුනුම්පත් නොමැති වීම හේතුවෙන් සුදුසුකම් ලත් වැඩිහිටියන් 76,716 දෙනෙකුට මෙම දීමනාව ලබා ගැනීමේ අවස්ථාව අහිමි වී ඇති බව හඳුනාගෙන ඇත. මෙම ගැටලුවට කඩිනම් විසඳුමක් ලෙස ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව එක්ව විශේෂ වැඩසටහනක් දියත් කර තිබේ.
තවමත් ජාතික හැඳුනුම්පතක් නොමැති ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සිටී නම්, වහාම තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා, ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරීවරයා හෝ වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරීවරයා හමුවී ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය ඉල්ලා සිටී.
මෙම වැඩසටහන යටතේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු හරහා තොරතුරු රැස්කිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇත. අදාළ ලේඛන කටයුතු කඩිනම් කිරීම මගින් සියලුම සුදුසුකම් ලත් වැඩිහිටියන්ට හිමිවිය යුතු දීමනාව ලබා දීම රජයේ අපේක්ෂාවයි.
