අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූත පිරිස ශ්‍රී ලංකාවට වැඩම කොට බුදු සසුන පිහිටුවීමේ 2334 වන සංවත්සරය අද (29) දිනට යෙදී ඇත. බෞද්ධ ඉතිහාසයට අනුව, ශ්‍රී බුද්ධ වර්ෂ 236 වැන්නේ පොසොන් පුන් පොහෝ දිනක මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස ලක්දිවට සැපත් වූහ.
එම ඓතිහාසික දිනයේදී දේවානම්පියතිස්ස රජතුමා හමුවූ මිහිඳු මාහිමියන්, චුල්ලහත්ථී පදෝපම සූත්‍රය දේශනා කරමින් මෙරට බුදු දහම ව්‍යාප්ත කිරීමේ මූලික පියවර තැබූහ. මෙම සිදුවීමත් සමඟ මෙරට ආගමික, සමාජීය හා සංස්කෘතික ක්ෂේත්‍රවල විශාල පුනර්ජීවයක් ඇති වූ බව ඉතිහාසඥයෝ පෙන්වා දෙති.
පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර පූජා නගරයට පැමිණෙන සැදැහැවතුන්ගේ පහසුව සඳහා ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් විශේෂ ඩිජිටල් මගපෙන්වීමක් හඳුන්වා දී ඇත. ‘posonvandana’ නමැති ජංගම දුරකථන යෙදවුම හරහා වාහන නැවතුම් ස්ථාන සහ දන්සැල් පිළිබඳ තොරතුරු ලබාගත හැකිය.
පූජා නගරයේ පිරිසිදුකම ආරක්ෂා කර ගැනීම සඳහා කසළ කළමනාකරණ වැඩසටහන් රැසක්ද ක්‍රියාත්මක වේ. සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටින්නේ පූජා භූමිය පිරිසිදුව තබා ගැනීමට සහාය වන ලෙසයි. පොසොන් සතිය තුළ දන්සැල් සහ වෙළඳසැල් පරීක්ෂා කිරීමේ විශේෂ වැඩපිළිවෙළක්ද බලධාරීන් විසින් දියත් කර ඇත.
