දෙහිවල ජාතික සත්වෝද්‍යානය සිය 90 වැනි සංවත්සරය ජූලි 3 වැනිදා අභිමානවත් ලෙස සමරයි. දශක නවයක කාලයක් පුරා සත්ව සුබසාධනය, සංරක්ෂණ අභිජනනය සහ පාරිසරික අධ්‍යාපනය වෙනුවෙන් සත්වෝද්‍යානය ඉටු කළ සේවාව අගයමින් මෙම සැමරුම් කටයුතු සිදු කෙරේ.

සංවත්සරයට සමගාමීව සත්වෝද්‍යානයේ සිටින සිංහ පැටවුන් දෙදෙනා සඳහා මහජනතාව යෝජනා කළ නම්වලින් තෝරාගත් නිල නම් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. එම නම් යෝජනා කළ ජයග්‍රාහකයන් වෙත ත්‍යාග ප්‍රදානය කිරීමද එදින සිදු කෙරේ. එදින සිංහ පැටවුන් දෙදෙනා සිය මව සමඟ නරඹන්නන්ට දැකබලා ගැනීමට විශේෂ අවස්ථාවක් ද උදා වේ.

එමෙන්ම, සත්වෝද්‍යානයේ උපත ලැබූ නයිල් හිපෝ පැටවා ප්‍රථම වරට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමට නියමිතය. මෙම හිපෝ පැටවාට නමක් තැබීමේ අවස්ථාව වයස අවුරුදු 18ට අඩු පාසල් සිසුන් වෙත ලබා දීමට තීරණය කර ඇති බව බලධාරීහු පවසති.

මීට අමතරව මින් මැදුර, සමනල උයන සහ අධ්‍යාපනික ප්‍රදර්ශන ඇතුළු විශේෂාංග රැසක් නරඹන්නන් වෙනුවෙන් විවෘතව පවතී. සොබාදහමේ අත්දැකීම් විඳ ගැනීමට සහ සත්වෝද්‍යානයේ විශේෂ අත්දැකීම් ලබා ගැනීමට පැමිණෙන ලෙස දේශීය හා විදේශීය සංචාරකයන්ට ආරාධනා කෙරේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version