රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබේ. මහජනතාවට, මාධ්‍යවේදීන්ට මෙන්ම රාජ්‍ය නිලධාරීන්ට අවශ්‍ය නිවැරදි සහ කඩිනම් තොරතුරු ලබාදීම මෙහි මූලික අරමුණයි.
තම ප්‍රදේශවල මදුරුවන් බෝවන ස්ථාන පවතී නම් ඒ පිළිබඳව 011-7966366 යන දුරකථන අංකයට ඇමතුමක් ලබාදී දැනුම් දිය හැකි බව ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ අතිරේක ලේකම් එස්.පී.සී. සුගීශ්වර මහතා පවසයි. මෙම මෙහෙයුම් මැදිරිය සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.00 සිට ප.ව. 4.00 දක්වාත්, සෙනසුරාදා දිනවල පෙ.ව. 8.00 සිට මධ්‍යහ්න 12.00 දක්වාත් ක්‍රියාත්මක වේ.
මෙම වැඩසටහන ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය, ආරක්ෂක අංශ සහ පොලිසිය ඇතුළු ආයතන රැසක ඒකාබද්ධ දායකත්වයෙන් ක්‍රියාත්මක වේ. මේ යටතේ බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 23ක් ආවරණය වන පරිදි විශේෂ මර්දන මෙහෙයුම් අද (05) සිට ආරම්භ කර ඇත.
තම නිවෙස් සහ අවට පරිශ්‍රයන් ඩෙංගු මදුරුවන් බෝ නොවන අයුරින් පිරිසිදුව තබා ගැනීම මහජනතාවගේ වගකීමක් බව බලධාරීහු සිහිපත් කරති. නීති විරෝධී ලෙස මදුරුවන් බෝවන පරිසරයන් පවත්වාගෙන යන පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.
