දකුණු ආසියානු කලාපයේ දරුවන් හිංසනයෙන් ආරක්ෂා කරගැනීම සහ ඒ සඳහා වන ක්‍රියාමාර්ග වේගවත් කිරීම අරමුණු කරගත් දකුණු ආසියානු අමාත්‍ය සමුළුව (EVAC) පසුගිය 23 වන දින කොළඹදී ආරම්භ විය. දෙදිනක් පුරා පැවැත්වෙන මෙම සමුළුව සඳහා කලාපීය රටවල අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් එක්ව සිටිති.
සමුළුව අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කළේ, දරුවන්ගේ ආරක්ෂාව යනු හුදෙක් එක් අංශයකට පමණක් සීමා වූ වගකීමක් නොව, ජාතික සංවර්ධන සහ සමාජ සාධාරණත්වයේ අත්‍යවශ්‍ය කොටසක් බවයි. ශ්‍රී ලංකාව දරුවන් ආරක්ෂා කිරීම සඳහා පද්ධතිමය ප්‍රවේශයක් අනුගමනය කරන බව ද ඇය මෙහිදී සඳහන් කළාය.
පාසල් පද්ධතිය දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ප්‍රධානතම ස්ථානයක් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, දරුවන්ට සිදුවන හානි කලින් හඳුනාගැනීමට සහ ඔවුන්ට අවශ්‍ය මනෝවිද්‍යාත්මක සහය ලබාදීමට පාසල් සතු කාර්යභාරය වැදගත් බව පැවසුවාය. ශ්‍රී ලංකාව තුළ පාසල් මට්ටමින් දරුවන් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණ සහ උපදේශන සේවා ශක්තිමත් කරමින් පවතින බව ද ඇය වැඩිදුරටත් කියා සිටියාය.
ළමා විවාහ, ළමා ශ්‍රමිකත්වය, හානිකර සමාජ සම්ප්‍රදායන් සහ තාක්ෂණය හරහා සිදුවන හිංසනයන් වැනි අභියෝග ජයගැනීමට කලාපීය රටවල සාමූහික මැදිහත්වීම අත්‍යවශ්‍ය බව ද මෙහිදී අවධාරණය කෙරිණි. සර්ක් (SAARC) සංවිධානය, යුනිසෙෆ් (UNICEF) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ආයතනවල සහයෝගීතාවයෙන් මෙම සමුළුව සංවිධානය කර ඇත.
මෙම අවස්ථාව සඳහා සර්ක් මහලේකම් එම්.ඩී. ගුලාම් සර්වර්, එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ආචාර්ය නජාත් මල්ලා ම්ජිඩ්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
