රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම පමණක් නොව, රෝග වැළැක්වීම සහ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම අරමුණු කරගනිමින් පෝෂණය කේන්ද්‍ර කරගත් ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා වෛද්‍ය පෝෂණ සංගමය සහ ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය විද්‍යාලය එක්ව සංවිධානය කළ 2026 වාර්ෂික ශාස්ත්‍රීය සැසිවාරයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. “සායනික සත්කාරයේ පෝෂණය සුසංයෝගී කිරීම” තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුව දෙදිනක් පුරා ක්‍රියාත්මක වේ.
පෝෂණය යනු සෞඛ්‍ය සේවාවේ සහායක අංගයක් පමණක් නොව, රෝග නිවාරණය සහ පුනරුත්ථාපනය ඇතුළු සමස්ත සෞඛ්‍ය පද්ධතියේම මූලික අංගයක් බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. රෝහල් සේවා සැලසුම් කිරීමේ සිට ප්‍රතිපත්ති සම්පාදනය දක්වා සෑම තැනකදීම පෝෂණයට ප්‍රමුඛතාව ලබාදිය යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මහජන සෞඛ්‍ය ප්‍රතිපත්ති සමඟ සායනික පෝෂණය සෘජුවම බැඳී පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ආහාර ලේබල්කරණය සහ වෙළඳපොළ ප්‍රවේශය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය තීරණය කරන සාධක බව සිහිපත් කළේය. විශේෂයෙන්ම දියර ආහාරවල සීනි ප්‍රමාණය හඳුනාගැනීම සඳහා හඳුන්වා දී ඇති වර්ණ කේත ක්‍රමය පාරිභෝගිකයාට සෞඛ්‍ය සම්පන්න තීරණ ගැනීමට මහත් පිටුවහලක් වී ඇති බවද ඔහු සඳහන් කළේය.
මෙම ශාස්ත්‍රීය සැසිවාරය සඳහා දේශීය හා විදේශීය විශේෂඥ වෛද්‍යවරුන්, පෝෂණ විද්‍යාඥයින් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ විද්වතුන් රැසක් සහභාගී වී සිටිති. පර්යේෂණ ඉදිරිපත් කිරීම් සහ පැනල සාකච්ඡා හරහා ශ්‍රී ලංකාවේ සායනික පෝෂණ සේවාවන්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණයි.
