ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සංස්කෘතික බැඳීම් තහවුරු කරමින්, නවදිල්ලි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබුණි. ශ්‍රී ලංකා විෂය දැනුම වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (SKE) යටතේ පැවති මෙම වැඩසටහනේ සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා පැවැත්වුණේ ඉන්දු-ශ්‍රී ලංකා පදනමේ සහ රොටරි සමාජයේ සහයෝගයෙනි.
නවදිල්ලි අගනගර කලාපයේ පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාව පිළිබඳව චිත්‍ර, රචනා, කවි සහ විවිධ කලාත්මක නිර්මාණ ඉදිරිපත් කිරීමට සිසුන්ට අවස්ථාව හිමි විය. එම නිර්මාණ හරහා දෙරට අතර පවතින ඓතිහාසික සබඳතාව මනාව විදහා දැක්වීමට සිසුන් සමත් විය.
උත්සවයේදී අදහස් දැක්වූ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහේෂිණි කොලොන්නේ මහත්මිය සඳහන් කළේ, මෙම ව්‍යාපෘතියේ සැබෑ අරමුණ ශ්‍රී ලංකාව ගැන ඉගෙන ගැනීමට වඩා දෙරටේ අනාගත පරපුර අතර අවබෝධය, ගෞරවය සහ මිත්‍රත්වය වර්ධනය කිරීම බවයි.
සම්මාන ප්‍රදානෝත්සවයට සමගාමීව සිසුන්ගේ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනයක් සහ සංස්කෘතික අංග රැසක් ද පැවැත්විණි. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය දැක්වූ සියලු පාර්ශවයන් වෙත මහ කොමසාරිස් කාර්යාලය සිය කෘතඥතාව පළ කර ඇත.
