පසුගිය රජය විසින් විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික ආයතන වෙත පැවරීමට ගනු ලැබූ තීරණය සහ එම ගිවිසුම්වල නීත්‍යානුකූලභාවය පිළිබඳව සමාලෝචනයක් සිදු කිරීමට වත්මන් කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. මේ බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නාය.

මෙම කරුණ අනාවරණය වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, පාඨලී චම්පික රණවක සහ රවුෆ් හකීම් යන මහත්වරුන් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීය.

ප්‍රධාන විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනුණි. එහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළේ, අදාළ ගිවිසුම්වල නීතිමය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කර ඇති බවයි.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් අදහස් දක්වමින් එම්.ඒ. සුමන්තිරන් මහතා කියා සිටියේ, වත්මන් රජය මෙම ගිවිසුම් අවලංගු කිරීමට තීරණය කර තිබුණද, තමන් මෙම නඩු කටයුත්ත ඉදිරියට පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවයි. වත්මන් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්ද මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

කරුණු සලකා බැලූ අධිකරණය, වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති වත්මන් කැබිනට් මණ්ඩල සාමාජිකයන් වෙත නොතීසි යවන ලෙස පෙත්සම්කරුවන්ට නියෝග කළේය. නඩුව යළි සැප්තැම්බර් 29 වන දින කැඳවීමට නියමිතය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version