අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය සහ වෘත්තිකභාවය ඉහළ නැංවීමේ අරමුණින් ස්ථාපනය කිරීමට නියමිත ‘අධ්‍යාපන වෘත්තික සභාව’ සම්බන්ධයෙන් සකස් කළ විද්වත් කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට තීරණය කර ඇත.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබේ. මහාචාර්ය ඕ.ජී. දයාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ විද්වත් කමිටුව විසින් මෙම වාර්තාව සකස් කර ඇති අතර, ඊට උපදේශක කාරක සභාවේ අනුමැතියද හිමිව ඇත.
මෙම වාර්තාව සකස් කිරීමේදී මහජන අදහස් සහ යෝජනා ලබා ගැනීම සඳහා පසුගිය අප්‍රේල් සහ මැයි මාසවලදී අවස්ථාව ලබා දී තිබිණි. එම යෝජනාද ඇතුළත්ව සකස් කළ අවසන් වාර්තාවට නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු අනු කාරක සභාවේ අනුමැතියද මීට පෙර හිමි විය.
මෙම නව සභාව පිහිටුවීම මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරි ගමන වෙනුවෙන් සිදුවන සුවිශේෂී හැරවුම් ලක්ෂයක් වනු ඇති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
