අධිකරණ සේවා සංගමයේ සභාපති ධුරය හොබවනු ලැබූ මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. මහේස්ත්‍රාත්වරුන් සහ දිසා විනිසුරුවරුන්ගෙන් සමන්විත මෙම සංගමය තුළ මතුව ඇති අභ්‍යන්තර ගැටලුකාරී තත්ත්වයක් මෙම ඉල්ලා අස්වීමට හේතු වී ඇති බව වාර්තා වේ.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාමාජිකයින්ගේ අදහස් විමසීම සඳහා අද (11) දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී විශේෂ මහා සභා රැස්වීමක් කැඳවීමට සංගමයේ විධායක කමිටුව තීරණය කර තිබුණි. මෙම තීරණය සම්බන්ධයෙන් මතුවූ මතභේද ඉල්ලා අස්වීමට ප්‍රධාන කරුණක් වී ඇති බව සඳහන් වේ.
සිය ඉල්ලා අස්වීම පිළිබඳ කරුණු දක්වමින් පසන් අමරසේන මහතා විසින් සාමාජිකයින් වෙත යොමු කළ බව කියන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. කෙසේ වෙතත්, සංගමයේ ලේකම් විනිසුරු සුරංග මුණසිංහ මහතා විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් තවත් ලිපියක් නිකුත් කර තිබේ.
අදාළ මතභේදයන් මධ්‍යයේ වුවද, සංගමයේ මහා සභා රැස්වීම අද පෙරවරුවේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි. ලේකම්වරයා විසින් දැනුම් දී තිබුණේ සැලසුම් කළ පරිදිම රැස්වීම පවත්වන බවයි.
