ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවමින් ඔවුන්ට හිමිවිය යුතු සමාජ පිළිගැනීම සහ ගෞරවය තහවුරු කිරීම වත්මන් රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. අනුරාධපුර උතුරු ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

පසුගිය කාලසීමාව තුළ ගොවි ජනතාව වෙනුවෙන් රජය ගෙන ඇති පියවර රැසක් පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කළේය. පොහොර සහනාධාරය දෙගුණ කිරීම, ස්වාභාවික ආපදා හේතුවෙන් හානියට පත් ගොවි බිම් සඳහා ඉතිහාසයේ වැඩිම වන්දි මුදලක් ලබා දීම සහ වී මිලදී ගැනීම සඳහා විශාලතම අරමුදල් වෙන් කිරීම ඒ අතර වේ.

එමෙන්ම, වසර ගණනාවක් තිස්සේ ඇණහිට තිබූ පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට රජය තීරණය කර ඇති බවත්, ඒ සඳහා රුපියල් බිලියන 40ක පමණ ආයෝජනයක් සිදු කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගය බහුල ප්‍රදේශවල පවුල් 67,000කට පිරිසිදු පානීය ජලය ලබා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වන සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් උදෙසා ගත් වැදගත් පියවරක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version