දශක පහකට අධික කාලයක් ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුළ සිය ප්‍රතිභාව විදහා දැක්වූ ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඇය 68 වන වියේ පසු වූවාය.
අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ. ඇයගේ වියෝව ශ්‍රී ලාංකීය සංගීත ලෝලීන් හට මහත් කම්පනයක් ගෙන දුන් පුවතකි.
කුඩා කල සිටම සංගීතයට දැක්වූ දක්ෂතා හේතුවෙන් ක්ෂේත්‍රයට පිවිසි මරියසෙල් ගුණතිලක මහත්මිය, ‘කැන්ඩි ළමිස්සි’ වැනි ජනප්‍රිය ගීත හරහා රසික හදවත් දිනා ගත්තාය. ක්ලැරන්ස් විජේවර්ධන මහතා ඇතුළු ප්‍රවීණ සංගීතඥයන් සමඟ එක්ව ඇය ගායනා කළ ගීත රැසක් අදටත් ජනප්‍රියත්වයේ පවතී.
බටහිර පොප් සංගීතයේ සිට දේශීය බයිලා රිද්මය දක්වා විවිධ ශෛලීන් ඔස්සේ සිය ගායන කෞශල්‍යය ප්‍රදර්ශනය කළ ඇය, විදේශයන්හි පැවති ප්‍රසංග වේදිකාවලදී ද ශ්‍රී ලාංකීය නාමය බැබළවීමට කටයුතු කළාය.
ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳුදා (13) දින බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය. එදින පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා බානි රේමන්ඩ් ශාලාවේදී මහජන ගෞරවය සඳහා දේහය තැන්පත් කර තැබේ.
