සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (11) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
ඌව පළාතේත්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මුලතිව්, වවුනියාව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දහවල් කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පවතිනු ඇත. එමනිසා ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම සහ විවේක ගැනීම වැනි ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු මැද පළාතේත්, මොනරාගල, පුත්තලම, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
මුහුදු ප්‍රදේශවල කාලගුණය සම්බන්ධයෙන්ද අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ මන්නාරමේ සිට පුත්තලම හරහා හලාවත දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව වාර්තා වේ.
