ස්වාභාවික ආපදා අවදානම හේතුවෙන් නව ස්ථානයකට මාරු කිරීමට යෝජිත දෙණියාය මූලික රෝහල සඳහා රුපියල් මිලියන 600ක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීමට ඉන්දීය රජය එකඟතාව පළ කර තිබේ.

මෙම ව්‍යාපෘතිය ඉන්දීය රජයේ ‘දිට්වා සුළි කුණාටුවෙන් අනතුරුව සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් ප්‍රතිසාධන ව්‍යාපෘතිය’ යටතේ ක්‍රියාත්මක වේ. ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදී අත්සන් තැබිණි.

දෙණියාය නගරයට ආසන්න හැන්ඩ්ෆර්ඩ් වතුයායේ ඉදිකිරීමට නියමිත මෙම නව රෝහල, ඇඳන් 300කින් සමන්විත වන අතර රුපියල් බිලියන 6ක ආයෝජනයකින් අදියර දෙකක් යටතේ ඉදිකිරීමට සැලසුම් කර ඇත. නායයෑම් ඇතුළු ස්වාභාවික ආපදා අවදානම සැලකිල්ලට ගනිමින් රෝහල ආරක්ෂිත ස්ථානයකට ගෙන ඒම රජයේ ප්‍රමුඛ ව්‍යාපෘතියකි.

නවීන තාක්ෂණයෙන් සහ සියලු පහසුකම්වලින් සමන්විත මෙම රෝහල ඉදිකිරීම මගින් මාතර දිස්ත්‍රික්කයේ සහ අවට ප්‍රදේශවල ජනතාවට වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමට හැකි වනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version