දකුණු ආසියාවේ දීර්ඝතම වාරිමාර්ග උමග ලෙස සැලකෙන කිලෝමීටර් 27.7ක් දිගැති යෝධ උමග අද (15) ජනතා අයිතියට පත් කෙරිණි. මහවැලි මහ සැලැස්මේ ප්‍රධාන අදියරක් වන උතුරුමැද මහ ඇළ ව්‍යාපෘතිය යටතේ මෙය ඉදිකර තිබේ.
ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ කැණීම් කටයුතු නවීන තාක්ෂණික යන්ත්‍ර උපයෝගී කරගනිමින් සාර්ථකව නිම කිරීමට ඉංජිනේරුවෝ සමත් වූහ. මහමීගස්වැව සහ කොදුරුවාව ප්‍රදේශවලින් ආරම්භ කළ කැණීම් පොළොව යටදී එකිනෙක හමුවීම ඉංජිනේරු ක්ෂේත්රයේ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකේ.
කිලෝමීටර් 240ක දිගකින් යුත් උතුරුමැද මහ ඇළ ව්‍යාපෘතිය මගින් මහා වාරි පද්ධති 12ක් සහ වැව් 1,505ක් පෝෂණය කිරීමට නියමිතය. මෙහි ප්‍රතිඵලයක් ලෙස හෙක්ටයාර 74,000ක වගාබිම් සඳහා යල සහ මහ කන්න දෙකේම ජලය සැපයීමට හැකියාව ලැබේ.
මෙම ව්‍යාපෘතියෙන් පවුල් 25,000කට සෘජු ප්රතිලාභ හිමිවන අතර, රජරට ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන වකුගඩු රෝගය අවම කිරීම සඳහා පිරිසිදු පානීය ජලය සැපයීම ද මෙහි ප්‍රධාන අරමුණකි. වාර්ෂිකව ජල ඝන මීටර් මිලියන 70ක් මුදාහැරීම මගින් මිලියන 1.5ක ජනතාවකගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමට නියමිතය.
