ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ, නොයිඩා නගරයේ පිහිටි මහල් හතරකින් යුත් නේවාසික ගොඩනැගිල්ලක බදාදා හටගත් දැවැන්ත ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මූලික විමර්ශනවලට අනුව, ගොඩනැගිල්ලේ බිම් මහලේ ආරෝපණය වෙමින් තිබූ විදුලි වාහනයක ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට සැක කෙරේ. පසුව එම ගින්න අසල නවතා තිබූ ඉන්ධන වාහන වෙතද පැතිර යාමෙන් තත්ත්වය උග්‍ර වී ඇත.
ගින්න හේතුවෙන් ගොඩනැගිල්ල පුරා පැතිර ගිය ඝන දුමාරය නිසා පදිංචිකරුවන් දැඩි අපහසුතාවයට පත්විය. කෙසේ වෙතත්, වහාම ක්‍රියාත්මක වූ ගිනි නිවන අංශ ගිනි නිවන රථ සහ විශේෂ ගලවා ගැනීමේ උපකරණ යොදා ගනිමින් එහි සිරවී සිටි පවුල් 50කට ආසන්න පිරිසක් ආරක්ෂිතව මුදා ගැනීමට සමත් විය.
දුම් ආශ්වාස කිරීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව රෝහල්ගත කළ පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව බලධාරීන් තහවුරු කරයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
