කටුනායක පොලිස් වසමේදී රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු සමග ගැටුමක් ඇතිකරගෙන, ඔහුගේ ගිනි අවිය උදුරාගෙන වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය.
මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් දිවුලපිටිය ප්‍රදේශයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 31ක්, පැහැරගත් පොලිස් ගිනි අවිය සහ යතුරුපැදියක් සොයාගෙන තිබේ.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ 41 හැවිරිදි මෙම සැකකරු මීට පෙර සිවිල් ආරක්ෂක බළකායේ කටුනායක නගර ආරක්ෂක කණ්ඩයට අනුයුක්තව සේවය කළ අයෙකු බවයි. ඔහු 2008 වසරේ සිට 2010 වසර දක්වා එම සේවයේ නිරතව සිට ඇත.
මෙම සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මීගමුව සහ මිනුවන්ගොඩ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති. සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.
