වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව කුඩා තේ වතු හිමියන් 191,000කට ආසන්න පිරිසකට QR කේත ක්‍රමය හරහා පොහොර මෙට්‍රික් ටොන් 21,500ක් ලබා දීමට කටයුතු කර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කළේය.
කොත්මලේ, හල්ගොල්ලගම ප්‍රදේශයේ පැවති ‘දල්ලෙන් දළුලන රටක්’ වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. රටේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා තේ වතු හිමියන්ට විධිමත් ලෙස පොහොර ලබා දීම රජයේ ප්‍රමුඛතාවක් බව ඔහු අවධාරණය කළේය.
පසුගිය කාලසීමාව තුළ කෘෂිකර්මාන්තයට සහ තේ වගාවට සිදුවූ බලපෑම් හේතුවෙන් අස්වැන්න පහළ ගිය බවත්, වගාවන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය පෝෂණය ලබා දීම අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මීට පෙර අතින් මුදල් එකතු කර පොහොර ලබා දීමේ ක්‍රමවේදයක් පැවතියද, වර්තමානයේ එය QR කේතය හරහා විධිමත් කර ඇත.
මීට අමතරව, ගෝලීය තත්ත්වයන් හමුවේ පොහොර මිල ඉහළ යාම සැලකිල්ලට ගෙන, භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 2,500ක අතිරේක සහනාධාරයක් ලබා දීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා පැවසීය. මෙම මුදල් QR කේතය සහිත තේ වතු හිමියන් වෙත බෙදා දීමට නියමිතය.
තේ දළු සඳහා සාධාරණ මිලක් ලබා ගැනීමට නම් ගුණාත්මක තේ නිෂ්පාදනය අත්‍යවශ්‍ය බවත්, ඒ සඳහා අවශ්‍ය දැනුම සහ මගපෙන්වීම අමාත්‍යාංශය හරහා අඛණ්ඩව ලබා දෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
