උගන්ඩාවේ නැගෙනහිර කප්චෝර්වා ප්‍රදේශයේදී පාසල් සිසුන් පිරිසක් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් තහවුරු කරයි. මියගිය පිරිස අතර සිසුන් 20 දෙනෙකු සහ පාසලේ අධ්‍යක්ෂවරයා ඇතුළු වැඩිහිටියෙකු වන බව වාර්තා වේ.
මෙම අනතුර සිදුව ඇත්තේ සිසුන් ජනප්‍රිය සංචාරක ස්ථානයක් වන සිපි දිය ඇලි නැරඹීමෙන් අනතුරුව යළි පාසල වෙත පැමිණෙමින් සිටියදීය. බස් රථය චෙක්වටිට් කඳු මාර්ගයේ ගමන් කරමින් තිබියදී රියැදුරුට වාහනයේ පාලනය ගිලිහී ගොස් මාර්ගයෙන් ඉවතට පැන විශාල ගලක ගැටී පෙරළී ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
බස් රථයේ යාන්ත්‍රික දෝෂයක් අනතුරට හේතු වී ඇති බවට සැක පළ කෙරේ. අනතුරින් තුවාල ලැබූ තවත් පිරිසක් මේ වන විට රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටිති. ප්‍රදේශවාසීන් කඩිනමින් එක්ව සිසුන් බේරා ගැනීමේ මෙහෙයුම්වල නිරත වූ බවද වාර්තා වේ.
උගන්ඩාවේ මාර්ගවල පවතින අනාරක්ෂිත තත්ත්වයන් සහ වාහන නඩත්තු කිරීමේ ගැටලු හේතුවෙන් මෙවැනි බරපතළ රිය අනතුරු නිතර වාර්තා වේ. පසුගිය කාලසීමාව තුළ පාසල් බස් රථ සම්බන්ධව වාර්තා වූ අනතුරු හේතුවෙන් එරට පාසල් ප්‍රවාහන සේවාවන්හි ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයක් යොමු වී ඇත.
