ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පිහිටි අජන්තා ලෙන් විහාර සංකීර්ණය ලොව පුරා සංචාරකයන්ගේ සහ ඉතිහාසඥයන්ගේ නොමඳ අවධානය දිනාගත් ස්ථානයකි. ක්‍රි.පූ. දෙවන සියවසේ සිට ක්‍රි.ව. හයවන සියවස දක්වා කාලය තුළ නිර්මාණය වූ මෙම පුරාවිද්‍යාත්මක ස්මාරකය, බෞද්ධ කලා ශිල්පයේ උච්චතම අවස්ථාව විදහා දක්වයි.

ගල් පර්වතයක් කටුවෙන් සහ මිටියෙන් පමණක් කපා සකස් කර ඇති මෙම ලෙන් සංකීර්ණය, කිසිදු කොන්ක්‍රීට් හෝ ගඩොල් භාවිතයකින් තොරව නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. මෙහි ඇති පිළිම, කැටයම් සහ ගෘහ නිර්මාණ ශිල්පය පුරාණ ශිල්පීන්ගේ දැවැන්ත කැපවීම සහ තාක්ෂණික දක්ෂතාවය මැනවින් කියාපායි.

අශ්වලාඩමක හැඩයෙන් යුත් අජන්තා ලෙන් සංකීර්ණය, වාඝුරා ගංගාව ආශ්‍රිතව පිහිටා ඇත. ලෙන් තිහකින් සමන්විත මෙම භූමිය, බෞද්ධ ආරාමික ජීවිතයේ සහ කලාත්මක ප්‍රකාශනයේ කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකේ. එල්ලෝරා ලෙන් සංකීර්ණයට වඩා පැරණි ඉතිහාසයක් අජන්තාව සතු වන අතර, සීගිරි බිතුසිතුවම් නිර්මාණය වූ කාලවකවානුවට සමාන කාලයකදී මෙහි කලා කෘති ද නිර්මාණය වී ඇති බව විද්වතුන් පවසයි.

මහාරාෂ්ට්‍ර සංචාරක අධ්‍යක්ෂක මණ්ඩලයේ ආරාධනයෙන් සිදුකළ මෙම සංචාරයේදී, අජන්තාවේ ඇති ස්වාභාවික සෞන්දර්යය සහ එහි පවතින ඉපැරණි බෞද්ධ උරුමය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාගත හැකි විය. ඉන්දියාවේ සංචාරයක නිරත වන ඕනෑම අයෙකුට අජන්තා ලෙන් සංකීර්ණය යනු අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ඓතිහාසික ස්ථානයකි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version