ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති කලාව තුළ නව මානයක් සනිටුහන් කරමින් ආරම්භ වූ අද දෙරණ 24 ප්‍රවෘත්ති නාලිකාව සිය 12 වැනි වසර සපිරීම අභිමානයෙන් සමරනු ලබයි. 2014 වසරේ ජූලි මස 20 වැනිදා විකාශන කටයුතු ආරම්භ කළ මෙම නාලිකාව, කෙටි කලක් තුළ විශ්වසනීය සහ තුලනාත්මක පුවත් වාර්තාකරණය හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට සමත් විය.

දිනකට පැයෙන් පැයට විකාශය වන ප්‍රවෘත්ති විකාශ 7ක් සහ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශ 4ක් ඔස්සේ දේශපාලන, ක්‍රීඩා, අධ්‍යාපනික සහ සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර ගණනාවක තොරතුරු ජනතාව වෙත සමීප කිරීමට නාලිකාව පියවර ගෙන ඇත. මීට අමතරව, විවිධ කාලීන වැඩසටහන් සහ අධ්‍යාපනික වැඩසටහන් හරහා ප්‍රේක්ෂකයා සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වීමට අද දෙරණ කටයුතු කර තිබේ.

නවීන තාක්ෂණය භාවිත කරමින් මෙරටට ජංගම දුරකථන මාධ්‍යකරණය (Mobile Journalism) හඳුන්වා දීමේ පුරෝගාමියා ලෙස කටයුතු කළ අද දෙරණ, රටේ හදිසි ආපදා අවස්ථාවලදී ජනතාව දැනුවත් කිරීම සඳහා තීරණාත්මක මෙහෙවරක් ඉටු කළේය. මුල් කාලයේ සීමිත විකාශන මාධ්‍ය ඔස්සේ පමණක් නැරඹිය හැකි වූ මෙම නාලිකාව, පසුකාලීනව නිදහස් ගුවන් විකාශන පථය ඔස්සේ සාමාන්‍ය ඇන්ටනාවකින් වුවද නැරඹිය හැකි ලෙස පුළුල් විය.

ඉදිරියටත් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරමින්, වගකීම් සහගත මාධ්‍ය මෙහෙවරක් ඉටු කිරීමට තමන් කැපවී සිටින බව නාලිකාව සඳහන් කරයි. සියලු ප්‍රේක්ෂකයන්ගේ සහයෝගය සහ විශ්වාසය මත ඉදිරියටත් ප්‍රවෘත්තිකරණයේ විශිෂ්ටත්වය පවත්වාගෙන යාම අද දෙරණේ අපේක්ෂාවයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version