පේරු රාජ්‍යයේ කඳුකර ප්‍රදේශයක සිදුවූ දැවැන්ත භූමිකම්පා දෙකක් හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් තහවුරු කරයි. මෙම ආපදාවෙන් තවත් පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

ලීමා අගනුවර සිට කිලෝමීටර් 300ක් පමණ නැගෙනහිරින් පිහිටි ජුනින් කලාපයේ චුපාකා පළාත කේන්ද්‍ර කරගනිමින් මෙම භූමිකම්පා වාර්තා විය. පේරු ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කරන පරිදි, රික්ටර් මාපක 5.1ක් සහ 3.7ක් ලෙස මෙම භූමිකම්පා දෙක එක පිට එක සිදුවී තිබේ.

පළමු භූමිකම්පාව කිලෝමීටර් 24ක ගැඹුරකදීත්, දෙවැන්න කිලෝමීටර් 18ක ගැඹුරකදීත් හටගෙන ඇත. යුරෝපීය-මධ්‍යධරණී භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය මීට පෙර වාර්තා කළේ පළමු භූමිකම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපක 5.6ක් ලෙස සටහන් වූ බවයි.

පේරු ජාතික සිවිල් ආරක්ෂක ආයතනයේ ප්‍රධානී ලුයිස් වස්කේස් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, මූලික වාර්තාවලට අනුව නිවාස 48ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් නිවාස 18කට හානි සිදුවී ඇති බවයි. මෙම ආපදාවෙන් පුද්ගලයින් 300කට අධික පිරිසක් අවතැන් වී සිටිති.

සුන්බුන් අතර තවත් පුද්ගලයින් සිරවී සිටිය හැකි බවට පවතින සැකය මත, ගිනි නිවන භටයින් සහ හදිසි ආපදා කළමනාකරණ කණ්ඩායම් මේ වන විටත් සහන කටයුතු සඳහා එම ප්‍රදේශයට යොදවා ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version