2026 වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ විදේශ රැකියා සඳහා මෙරටින් පිටත්ව ගිය ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව 62,645ක් ලෙස වාර්තා වේ. මෙය 2025 වසරේ පළමු කාර්තුව හා සැසඳීමේදී සියයට 6.6ක පහළ යාමකි.
විශේෂයෙන්ම පෙබරවාරි මස අග භාගයේ මැදපෙරදිග කලාපයේ හටගත් යුද ගැටුම් තත්ත්වය මෙම ශ්‍රමිකයන් පිටත්වීමේ අඩුවීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. මාර්තු මාසයේදී පමණක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගිය පිරිස 14,398ක් දක්වා කැපී පෙනෙන ලෙස පහළ ගොස් ඇත.
පළමු කාර්තුවේදී විදෙස්ගත වූ පිරිසෙන් බහුතරයක් එනම් සියයට 72.8ක්ම මැදපෙරදිග කලාපය වෙත යොමුවී තිබේ. කෙසේ වෙතත්, පවතින යුද වාතාවරණය හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළද මෙම පිටත්වීම්වල අඩුවීමක් සිදුවිය හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මේ අතර, විදේශ ප්‍රේෂණ ලැබීම්වල වර්ධනයක් පෙන්නුම් කරන අතර, 2026 පළමු කාර්තුවේදී ලැබුණු සමස්ත ප්‍රේෂණ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 2,295ක් වේ. මෙය පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව සියයට 26.5ක වර්ධනයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
