ශ්‍රී ලංකා මානව සම්පත් වෘත්තිකයන්ගේ සංගමයේ (AHRP) 25 වන සංවත්සර උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය මහත්මිය මේ බව ප්‍රකාශ කළාය. කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී මෙම උත්සවය පැවැත්විණි.
රටේ ආර්ථික ප්‍රකෘතිය උදෙසා ආයතනික ශක්තිය සහ විශ්වාසය ගොඩනැගීම වැදගත් වුවද, තිරසාර සංවර්ධනයක් සඳහා තරගකාරීත්වය, නවෝත්පාදනය සහ ඇතුළත් වර්ධනය කෙරෙහි අවධානය යොමු කළ යුතු බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. ශ්‍රී ලංකාවේ සැබෑ තරගකාරී වාසිය පවතින්නේ ස්වභාවික සම්පත් මත නොව ජනතාවගේ දැනුම, කුසලතා සහ සදාචාරාත්මක වටිනාකම් තුළ බව ඇය සඳහන් කළාය.
අනාගත ආර්ථික ශක්තිය රඳා පවතින්නේ ශ්‍රම බලකායේ අනුවර්තනය වීමේ හැකියාව සහ සහයෝගීතාව මත බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය. අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ අවශ්‍යතා අතර පවතින පරතරය අවම කරමින්, ඩිජිටල් සාක්ෂරතාව සහ නව තාක්ෂණයට ගැලපෙන පරිදි ශ්‍රම බලකාය සූදානම් කිරීමේ වැදගත්කම ඇය අවධාරණය කළාය.
මානව සම්පත් කළමනාකරණය හුදු පරිපාලන කටයුත්තක සිට උපායමාර්ගික විනයක් දක්වා වර්ධනය කිරීමට AHRP සංගමය ඉටු කළ කාර්යභාරය අග්‍රාමාත්‍යවරිය මෙහිදී ඇගයීමට ලක් කළාය. ආයතනික සාර්ථකත්වය යනු මූල්‍ය කාර්යසාධනය පමණක් නොව, සේවක සුබසාධනය සහ ඔවුන්ගේ හැකියාවන් උපරිමයෙන් ඔප්නැංවීම බව ඇය සිහිපත් කළාය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා සහ මානව සම්පත් වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති තුෂාර ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
