පූර්ව ළමාවිය අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත ගුරුවරුන්ගේ සහ පරිපාලකවරුන්ගේ වෘත්තීය ගෞරවය ආරක්ෂා කරමින්, එම ක්ෂේත්‍රය විධිමත් ‘සංවෘත සේවාවක්’ ලෙස ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇත. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මේ බව සඳහන් කළේ, 2026 ජාතික පූර්ව ළමාවිය සංවර්ධන සතියට සමගාමීව අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදීය.
දැනට පවතින අවිධිමත් පූර්ව ළමාවිය අධ්‍යාපන ක්‍රමය වෙනුවට ගුණාත්මක සහ වෘත්තීයමය ප්‍රමිතියකින් යුත් ක්‍රමවේදයක් හඳුන්වා දීම රජයේ අරමුණයි. පවතින අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව තුළ පූර්ව ළමාවිය අධ්‍යාපනය අනිවාර්ය අංගයක් ලෙස ඇතුළත් කිරීමට කටයුතු යොදා ඇති බවද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
මෙම නව ප්‍රතිසංස්කරණවලදී දැනට සේවයේ නියුතු කිසිදු ගුරුවරයෙකු ඉවත් කිරීමට රජයට කිසිදු අදහසක් නොමැති බවත්, ඔවුන්ගේ වෘත්තීය සුරක්ෂිතතාව සහ පිළිගැනීම තහවුරු කිරීමට රජය කැපවී සිටින බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සාමාන්‍ය සමාජයට අනුගත කිරීම සඳහා පූර්ව ළමාවිය අධ්‍යාපන මධ්‍යස්ථානවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවයද ඇය මෙහිදී සිහිපත් කළාය.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ, වසර ගණනාවක් තිස්සේ ස්වයං රැකියාවක් ලෙස පැවති මෙම ක්ෂේත්‍රය, රජයේ වගකීම යටතේ පවතින පිළිගත් වෘත්තීය සේවාවක් බවට පත් කිරීමට කටයුතු කරන බවයි. ඒ අනුව, පූර්ව ළමාවිය ගුරුවරුන් සඳහා නිසි පත්වීම් ක්‍රමවේදයක් සහ විශ්‍රාම වැටුප් ඇතුළු වෘත්තීය අයිතිවාසිකම් ලබා දීම අමාත්‍යාංශයේ අපේක්ෂාව බව ඇය පැවසුවාය.
දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පෙර පාසල් ගුරුවරුන් 600කට අධික පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
