අග්‍රාමාත්‍ය ආචාර්ය හර්ෂණී අමරසූරිය මහත්මිය පවසා සිටියේ, වීදි සතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ සුභසාධනය තහවුරු කිරීම සියලු දෙනාගේම සාමූහික වගකීමක් බවයි. මෙම අදහස් දැක්වූයේ, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති ‘PET EXPO 2026’ ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.
ශ්‍රී ලංකා සුරතල් සත්ව වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද මෙම ප්‍රදර්ශනයේදී, වීදි සතුන්ගේ සුභසාධනය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් ‘ආලෝක’ ප්‍රදර්ශන කුටිය නැරඹීමටද අග්‍රාමාත්‍යවරිය එක්විය. එහිදී, බේරාගත් වීදි බල්ලෙකු අලුත් හිමිකරුවෙකුට භාරදීමෙන් ඇය එම කටයුතු ආරම්භ කළාය.
අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ, ශ්‍රී ලංකාවේ පශු වෛද්‍ය සේවාවන් අනාගතය වෙනුවෙන් පැහැදිලි දැක්මක් සහිතව දියුණු වෙමින් පවතින බව දැකීම සතුටට කරුණක් බවයි. කෙසේවෙතත්, විහාරස්ථාන වැනි මහජන ස්ථානවලට බල්ලන් හා පූසන් අතහැර දැමීම කනගාටුදායක තත්ත්වයක් බවත්, වීදි සතුන්ගේ යහපැවැත්ම කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.
සත්ව සුභසාධනය පිළිබඳ කැබිනට් පත්‍රිකාවකට මෑතකදී අනුමැතිය ලැබීමෙන් පසු, සතුන්ගේ ජීවිත හා සුභසාධනය වැඩිදියුණු කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට රජයට අවස්ථාව උදා වී ඇති බවද ඇය සඳහන් කළාය. මෑතකදී ජාත්‍යන්තර අවධානයට ලක් වූ, ශ්‍රී ලාංකික දැරියක සහ ඉත්තෑවෙකු අතර වූ සුවිශේෂී බැඳීම පිළිබඳ කතාව සිහිපත් කරමින්, දරුවන්ගේ සංවර්ධනයේදී සුරතල් සතුන් සමඟ ඇති සබඳතාව වැදගත් බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. සතුන් සමඟ ඇසුරු කිරීමෙන් දරුවන් තුළ අනුකම්පාව, දයාව, කරුණාව සහ ආදරය වැනි ගුණාංග වර්ධනය වන බවද ඇය පැවසුවාය.
