ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් තුන් හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් මාතර, නාවිමන ප්‍රදේශයෙන් වාර්තා වේ. මියගිය දැරිය යද්දෙහිගේ ජිපුලි මනුල්යා නම් වූ අතර ඇය පෙර පාසල් අධ්‍යාපනය ලබමින් සිටි දැරියකි.
පසුගිය 13 වැනිදා දැරියට උණ රෝග ලක්ෂණ පහළ වී ඇති අතර, මව විසින් වහාම ඇයව ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු වෙත යොමු කර තිබේ. වෛද්‍ය උපදෙස් මත රුධිර පරීක්ෂණ සිදුකළද, දැරියගේ තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඇයව මුලින්ම දික්වැල්ල දිසා රෝහලටත්, පසුව මාතර මහ රෝහලටත් ඇතුළත් කර ඇත.
අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇයව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර යවා තිබේ. එහිදී දැරිය ඩෙංගු රක්තපාත තත්ත්වයට පත්වී සිටි බවත්, ශරීරගත වූ ආසාදනයක් හේතුවෙන් ඇයගේ තත්ත්වය බරපතල වූ බවත් වෛද්‍යවරුන් පවසා ඇත.
දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දැරිය පසුගිය 20 වැනිදා අභාවප්‍රාප්ත විය. ගාල්ල ජාතික රෝහලේදී පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී, ඩෙංගු රක්තපාත උණ හේතුවෙන් ඇතිවූ සංකූලතා මරණයට හේතු වූ බව මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා තීරණය කළේය.
