බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් අතරතුරදී සැකකටයුතු නිවසකින් ගිනි අවියක් සොයා ගැනීමට සෞඛ්‍ය බලධාරීන් සමත්ව ඇත. බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක්ව මෙම වැටලීම සිදුකර තිබේ.

අදාළ නිවස දැඩි අපිරිසිදු තත්ත්වයක පැවති අතර, එහි සුනඛයන් විශාල සංඛ්‍යාවක් ඇති කරමින් සිට ඇති බව වාර්තා වේ. නිවස පරීක්ෂා කිරීමේදී මදුරු කීටයන් සමඟ මෙම ගිනි අවිය සොයාගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් නිවසේ හිමිකාරිනිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මෙහෙයුම අතරතුර තවත් නිවසක මදුරු කීටයන් සිටියදී නිවාස හිමියා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ද ඇති විය. ඩෙංගු මදුරුවන් බෝවන පරිසරයක් පවත්වාගෙන ගිය පුද්ගලයින් 13 දෙනෙකුට එරෙහිව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව සිදුකරන මෙම මෙහෙයුම්වලදී නිලධාරීන්ට සහය ලබා දෙන ලෙසත්, තම පරිශ්‍රයන් මදුරුවන් බෝ නොවන අයුරින් පිරිසිදුව තබා ගන්නා ලෙසත් බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version