First Capital හෝල්ඩින්ග්ස් සහ එහි අනුබද්ධිත First Capital Treasuries සමාගම, Lanka Rating Agency (LRA) මගින් පිරිනමනු ලබන ‘A+ with Stable Outlook’ ශ්‍රේණිගත කිරීම යළි තහවුරු කර ගැනීමට සමත්ව ඇත. මෙම ජයග්‍රහණය මගින් සමාගමේ මූල්‍ය ස්ථාවරත්වය සහ ශක්තිමත් ආයතනික පාලන රාමුව යළිත් වරක් තහවුරු වී තිබේ.
2025-26 මූල්‍ය වර්ෂය තුළ අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් මධ්‍යයේ වුවද, සමාගම රුපියල් බිලියන 2.1ක ඒකාබද්ධ බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත් විය. රුපියල් බිලියන 74.2ක මුළු වත්කම් ප්‍රමාණයක් හිමි First Capital සමූහය, තම මූල්‍ය විනය සහ විවිධාංගීකරණය වූ ව්‍යාපාර ආකෘතිය හරහා මෙම සාර්ථකත්වය අත්කරගෙන ඇත.
සමාගමේ ප්‍රධාන අනුබද්ධිත ආයතනය වන First Capital Treasuries සමාගම, රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ තුළ දක්වන ලද දක්ෂතා සහ විචක්ෂණශීලී කළමනාකරණය හේතුවෙන් සමූහයේ ආදායම් ඉහළ නැංවීමට විශාල දායකත්වයක් ලබා දී තිබේ. මීට අමතරව ආයෝජන කළමනාකරණය, ආයතනික මූල්‍ය උපදේශන සහ කොටස් තැරැව්කාර අංශයන්හි ක්‍රියාකාරිත්වය ද මෙම ප්‍රතිඵල කෙරෙහි ධනාත්මකව බලපා ඇත.
මෙම ශ්‍රේණිගත කිරීම පිළිබඳව අදහස් දක්වමින් First Capital හෝල්ඩින්ග්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ ඩිල්ෂාන් වීරසේකර මහතා සඳහන් කළේ, මෙය තම සමූහයේ මූල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වය මැනැවින් විදහා දක්වන ජයග්‍රහණයක් බවයි. පාර්ශ්වකරුවන්ට තිරසාර ප්‍රතිලාභ ලබා දෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ශක්තිමත් කිරීම සිය අරමුණ බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
Lanka Rating Agency හි ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය කෙනත් ද සිල්වා මහතා පෙන්වා දුන්නේ, විධිමත් අවදානම් කළමනාකරණ පිළිවෙත් සහ වෙළෙඳපොළ අභියෝග හමුවේ පෙන්නුම් කළ ඔරොත්තු දීමේ හැකියාව මෙම ශ්‍රේණිගත කිරීම සඳහා ප්‍රධාන සාධක වූ බවයි.
