වසර හයක කාලයක් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස කටයුතු කළ ෂී ෂෙන්ග්හොන්ග් (Qi Zhenhong) මහතා සිය ධුර කාලය නිමා කරමින් මෙරටින් නික්ම යාමට සූදානම් වේ. ඔහු සිය බිරිඳ සමඟ මෙරටින් පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් විශේෂ සමුගැනීමේ පණිවිඩයක් නිකුත් කර තිබේ.
“සමුගනිමු ලංකා; කඳු හෙල් සහ සාගර තරණය කරමින් අපි එකිනෙකාගේ කතාව ඉදිරියට ලියමු” යන තේමාව යටතේ ඔහු සිය අදහස් දක්වා ඇත. තම රාජ්‍යතාන්ත්‍රික ජීවිතයේ දීර්ඝතම සේවා කාලය ශ්‍රී ලංකාවේ ගත කිරීමට ලැබීම භාග්‍යයක් බව තානාපතිවරයා සඳහන් කරයි.
පසුගිය වසර හය තුළ ශ්‍රී ලංකාව මුහුණ දුන් කොවිඩ්-19 වසංගතය, ආර්ථික අර්බුදය සහ විවිධ ස්වාභාවික ආපදා හමුවේ චීනය සහ ශ්‍රී ලංකාව අතර පැවති නොසැලෙන මිත්‍රත්වය ඔහු සිහිපත් කළේය. ඓතිහාසික රබර්-සහල් ගිවිසුමෙන් ආරම්භ වූ දෙරටේ සබඳතාව ඉදිරියටත් ශක්තිමත්ව පවතිනු ඇතැයි ඔහු විශ්වාසය පළ කරයි.
එළඹෙන වසරේදී දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 70ක් සපිරෙන බව පෙන්වා දෙන තානාපතිවරයා, වෙළෙඳ, සංචාරක, කෘෂිකාර්මික සහ ඩිජිටල් පරිවර්තන ඇතුළු ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට චීනය සූදානම් බව අවධාරණය කළේය.
අවසාන වශයෙන්, ශ්‍රී ලංකා රජයට, පාර්ලිමේන්තුවට, මහා සංඝරත්නයට සහ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවට සිය කෘතඥතාව පළ කරන බවත්, තමන් කොතැනක සිටියද ශ්‍රී ලංකා-චීන මිත්‍රත්වය වෙනුවෙන් පෙනී සිටින බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
