විදෙස්ගත ශ්‍රමිකයන් තම සේවා කාලය අවසන් කර යළි දිවයිනට පැමිණි පසු, ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය සහ ආයෝජන අපේක්ෂා සාක්ෂාත් කර ගැනීම සඳහා ඌණ උපයෝජිත ඉඩම් ව්‍යාපෘති සේවාවන් සමඟ ලබා දීමට නව වැඩපිළිවෙළක් සකසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.
ජනාධිපති කාර්යාලයේදී පැවැති වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ 2026 වසරේ ව්‍යාපෘති ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත. මෙහිදී අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ.
විශේෂයෙන්ම මලෛගම් ජනතාව වෙනුවෙන් නිවාස 10,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය නියමිත කාලය තුළ නිම කර ජනතා අයිතියට පවරා දීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. එසේම, විදේශ ආධාර සහ ණය යෝජනා ක්‍රම යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල පවතින ගැටලු හේතුවෙන් ඇතැම් ප්‍රතිපාදන ආපසු ගොස් ඇති බව පෙන්වා දුන් ඒ මහතා, එම යාන්ත්‍රණය වඩාත් කාර්යක්ෂම කරන ලෙස ද උපදෙස් දුන්නේය.
පසුගිය වසරට සාපේක්ෂව තේ, පොල්, රබර් ඇතුළු වැවිලි භෝග සහ යටිතල පහසුකම් සංවර්ධනයේ යම් වර්ධනයක් අත්කරගෙන ඇති බවත්, රාජ්‍ය වැවිලි සමාගම් කිහිපයක්ම මේ වන විට තම ලාභය ඉහළ නංවා ගනිමින් සිටින බවත් මෙහිදී අනාවරණය විය. තවද, රජයෙන් ඉඩම් ලබා දීමේදී අත්සන් කරන ලද පැරණි ගිවිසුම් යාවත්කාලීන කිරීම සහ ශක්තිමත් ගිවිසුම් ඇති කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය හරහා විශේෂ කමිටුවක් පත් කරන ලෙසද නියෝග කර ඇත.
