කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම නිවේදනයකට අනුව, අද (28) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කෙරේ.
මෙම කාලගුණික විපර්යාසය හේතුවෙන් සබරගමුව පළාතේ මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මීට අමතරව බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.
රටේ සෙසු ප්‍රදේශවල බොහෝ දුරට වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යාඥයින් පෙන්වා දෙයි.
මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මෙන්ම උතුරු, උතුරු-මැද පළාත්වලත්, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇත.
