භෞතික වශයෙන් රටක් කොතෙක් දියුණු වුවද, එම රටක සැබෑ ප්‍රගතිය මැනිය හැක්කේ ජනතාවගේ විනය, සදාචාරය සහ අධ්‍යාත්මික ගුණධර්ම මත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කළාය.

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ කළුතර, රේමුණගොඩ පිහිටි ඓතිහාසික කොන්ගොඩ ශ්‍රී ගංගාරාම පුරාණ මහා විහාරස්ථානයේ ඉදිකරන ලද නව ලෝහමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම උත්සවය සඳහා මහා සංඝරත්නය ප්‍රමුඛ දේශපාලන නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.

උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ, වර්තමාන සංකීර්ණ සමාජය තුළ ජනතාවට වඩාත්ම අවශ්‍ය වන්නේ සංයමය සහ අධ්‍යාත්මික සහනය බවයි. ජවහල්ලාල් නේරුතුමා පවා සිරගතව සිටි සමයේ සමාධි බුද්ධ ප්‍රතිමාවක් තමන් අසල තබාගෙන අධ්‍යාත්මික සුවය ලබාගත් බව ඇය සිහිපත් කළාය.

ප්‍රදේශයේ ජනතාවගේ දායකත්වයෙන් නිර්මාණය කළ මෙම ප්‍රතිමාව ප්‍රදේශයේ අධ්‍යාත්මික දියුණුවට මහත් පිටුවහලක් වන බව ඇය පැවසුවාය. රටේ ඓතිහාසික, ආගමික සහ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බවත්, බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා ඒ සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක බවත් අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කළාය.

ඓතිහාසික විහාරස්ථාන සංරක්ෂණය කිරීම යනු හුදෙක් ගොඩනැගිලි නඩත්තු කිරීමක් නොව, ජාතික අනන්‍යතාවය සහ සදාචාරාත්මක පදනම අනාගත පරපුර උදෙසා සුරැකීමක් බවද ඇය අවධාරණය කළාය. සාධාරණ සහ සමගි සම්පන්න සමාජයක් ගොඩනැගීම රජයේ ප්‍රධාන අරමුණ බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version