ගොවිජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට සහ ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට වත්මන් රජය දැඩි කැපවීමකින් කටයුතු කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි. අනුරාධපුරයේ පැවැති විශේෂ ගොවි හමුවකට එක්වෙමින් අමාත්යවරයා මේ බව සඳහන් කළේය.
ගොවීන්ගේ නිෂ්පාදන කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අවශ්යතාව පෙන්වා දුන් අමාත්යවරයා, වී වගාවේ පිරිවැය පදනම් කරගනිමින් සියයට 30ක ලාභයක් සහිතව සහතික මිල තීරණය කිරීමේ නව ප්රතිපත්තියක් රජය විසින් හඳුන්වා දී ඇති බව පැවසීය. ඒ අනුව, යල් කන්නය සඳහා නවතම පිරිවැය වාර්තාවක් ද සකස් කර ඇත.
ආහාර ද්රව්ය ආනයනය සීමා කරමින් දේශීය වගාවන් දිරිමත් කිරීම ජාතික සැලැස්මක අවශ්යතාවක් බවත්, අනුරාධපුර දිස්ත්රික්කයේ වැව් පද්ධතිය කේන්ද්ර කරගත් වාරි සංචාරක කර්මාන්තය හරහා ගොවීන්ට අමතර ආදායම් මාර්ග උත්පාදනය කිරීමට පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
රටේ වත්මන් පරිවර්තනීය යුගයේදී දේශපාලන බලපෑම්වලට බිය නොවී ජනතා යහපත උදෙසා තීරණ ගන්නා බව පැවසූ අමාත්යවරයා, මැති ඇමතිවරුන් සඳහා රථවාහන පර්මිට් වැනි වරප්රසාද ලබා නොදීමට රජය ගත් තීරණය සිහිපත් කළේය. රාජ්ය සම්පත් ජනතා සුබසාධනය සඳහා යොදවමින් ගොවි පොහොර සහනාධාරය සහ රාජ්ය සේවක වැටුප් වැඩි කිරීම ඇතුළු ජනහිතකාමී වැඩසටහන් රැසක් දැනටමත් ක්රියාත්මක කර ඇත.
