ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (S&P) විසින් සිදු කළ නවතම ඇගයීමට අනුව, ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමේ ස්ථාවරත්වය තවදුරටත් පවත්වා ගැනීමට රජයට හැකි වී තිබේ. මෙම තත්ත්වය රටේ ආර්ථික ගමන් මගෙහි වැදගත් සන්ධිස්ථානයක් බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
විශේෂයෙන්ම ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කරන ‘හුවමාරු සහ පරිවර්තන’ (T&C) ශ්‍රේණිගත කිරීම 2022 වසරේ පැවති CCC මට්ටමේ සිට 2026 වන විට B- මට්ටම දක්වා ඉහළ ගොස් ඇත. දේශපාලන ස්ථාවරත්වය සහ සාර්ව ආර්ථික ප්‍රතිපත්තිවල නිවැරදි කළමනාකරණය මෙම දියුණුවට ප්‍රධාන හේතුව වී තිබේ.
ණය පාරදෘශ්‍යභාවය සහ ආයෝජකයන් සමඟ පවතින සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මේ වන විට ලකුණු 43.67ක් ලබා ගනිමින් ලෝකයේ 4 වන ස්ථානයට පත්ව ඇත. මෙය 2025 වසරට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
රටේ ආර්ථිකය හකුළුවා දැමීමකින් තොරව, මහ බැංකුවේ උපායමාර්ගික මැදිහත්වීම් හරහා විදේශ සංචිත ශක්තිමත් කිරීමට රජය සමත් වී තිබේ. 2026 වසරේ මුල් කාර්තුව තුළ 5.1%ක ආර්ථික වර්ධනයක් වාර්තා වී ඇති අතර, වසරේ අපේක්ෂිත ආදායම් ඉලක්කවලින් 63.5%ක් දැනටමත් සපුරා ගැනීමට හැකි වී ඇත.
අතීතයේ ලබාගත් ණය හේතුවෙන් දැරීමට සිදුව ඇති අධික පොලී බර සහ ගෝලීය අභියෝග මධ්‍යයේ වුවද, මධ්‍යකාලීන ණය කළමනාකරණ ක්‍රමවේද හරහා රටේ මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කරමින් ඉදිරියට ගමන් කරන බව රජය අවධාරණය කරයි.
