ඇමරිකා එක්සත් ජනපදයේ රුධිර පරිත්‍යාග මට්ටම් වාර්තාගත ලෙස පහත වැටීම හේතුවෙන් එරට රතු කුරුස සංවිධානය විසින් ජාතික රුධිර සැපයුම් අර්බුදයක් ප්‍රකාශයට පත් කර ඇත. සිය ඉතිහාසයේ දෙවන වතාවට මෙවැනි තත්ත්වයක් උද්ගත වී ඇති අතර, එය එරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල කර තිබේ.
මෙම හිඟය හේතුවෙන් හදිසි සැත්කම්, පිළිකා ප්‍රතිකාර සහ අනෙකුත් ජීවිතාරක්ෂක වෛද්‍ය අවශ්‍යතා සඳහා රුධිරය ලබා ගැනීම බරපතළ අභියෝගයක් බවට පත්ව ඇත. රුධිර පාරවිලයනය අවශ්‍ය වන සැත්කම් ප්‍රමාද වීමේ අවදානමක් පවතින බවත්, මාතෘ වාට්ටු වැනි අංශවලට ද මෙහි බලපෑම එල්ල විය හැකි බවත් වෛද්‍ය අංශ අනතුරු අඟවයි.
රතු කුරුස ජෛව වෛද්‍ය සේවා සභාපති ක්‍රිස් හෲඩා මහතා පෙන්වා දෙන්නේ, විශේෂයෙන්ම ‘O’ වර්ගයේ රුධිර තොග ඉතා අවදානම් මට්ටමක පවතින බවයි. රෝහල්වලින් ලැබෙන ඉල්ලුමට සරිලන පරිදි රුධිර පරිත්‍යාග සිදු නොවීම මෙම අර්බුදයට ප්‍රධාන හේතුව වී තිබේ.
පවතින තත්ත්වය මත රුධිර පරිත්‍යාගශීලීන් දිරිමත් කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත. කෙසේ වෙතත්, තීරණාත්මක රුධිර වර්ගවල සැපයුම අවසන් වීමේ තර්ජනයක් පවතින බැවින්, හැකි ඉක්මනින් රුධිරය පරිත්‍යාග කරන ලෙස සුදුසුකම් ලත් පුද්ගලයන්ගෙන් ඉල්ලීමක් කෙරේ.
