වර්තමාන ඩිජිටල් යුගයේදී රාජ්‍ය ආයතනවල දත්ත සහ පද්ධතිවල ආරක්ෂාව තහවුරු කිරීම ජාතික ප්‍රමුඛතාවක් බවට පත්ව තිබේ. ඒ අනුව, රාජ්‍ය නිලධාරීන් සයිබර් තර්ජන පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගිය ජූලි 24 වන දින පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාර්ථකව පැවැත්විණි.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන, ආරක්ෂක සයිබර් විධානයේ (DCC) අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් කේ.වී.පී. ධම්මික මහතා ඇතුළු විශේෂඥ කණ්ඩායමකගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. පුත්තලම අතිරේක දිස්ත්‍රික් ලේකම් පුබුදිකා එස්. බණ්ඩාර මහත්මිය සහ දිස්ත්‍රික් කාන්තා සංවර්ධන නිලධාරිනී ආර්.එම්. දමයන්ති මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම වැඩමුළුවේදී කෘත්‍රිම බුද්ධිය (AI) මගින් එල්ල විය හැකි නවීන සයිබර් ප්‍රහාර, දත්ත ආරක්ෂණ නීතිමය රාමුව සහ රාජ්‍ය පද්ධතිවල ආරක්ෂාව පවත්වාගෙන යන ආකාරය පිළිබඳව නිලධාරීන් දැනුවත් කරන ලදී. විශේෂයෙන්ම ‘Zero Trust’ සංකල්පය සහ දෛනික පරිගණක භාවිතයේදී අනුගමනය කළ යුතු ආරක්ෂිත පියවරයන් පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු විය.

සයිබර් ප්‍රහාර හඳුනාගැනීම සඳහා වූ ප්‍රායෝගික අභ්‍යාස සහ තාක්ෂණික උපදෙස් මාලාවක් ද මෙහිදී ක්‍රියාත්මක කෙරිණි. රාජ්‍ය සේවය ඩිජිටල්කරණය වන පසුබිමක, මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් මගින් රාජ්‍ය ආයතනවල ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version