බොරැල්ල නව මැගසින් බන්ධනාගාරයේ පසුගිය දින රාත්‍රියේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් තුවාල ලැබූ රැඳවියන් එකොළොස් දෙනෙකු රෝහල් ගත කර තිබුණි. ඉන් එක් රැඳවියෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග තහවුරු කරයි.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ. සී. ගජනායක මහතා සඳහන් කළේ, මධ්‍යම රාත්‍රියට ආසන්නව රැඳවියන් පිරිසක් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් මෙම තත්ත්වය හටගත් බවයි. සිදුවීම පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් සමඟ පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහයද ලබාගෙන ඇත.
මේ වන විට බන්ධනාගාරයේ ආරක්ෂාව තර කර ඇති අතර, ත්‍රිවිධ හමුදාවේ ද සහයෝගය ලබා ගනිමින් තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කර තිබේ. ගැටුමට සම්බන්ධ වූ බවට හඳුනාගත් රැඳවියන් නව දෙනෙකු වෙනත් බන්ධනාගාරයක් වෙත මාරු කිරීමට පියවර ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව බලධාරීන් වැඩිදුරටත් පවසයි.
