ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලවල මව් සමාගම වන මෙටා (Meta) ආයතනයට එරෙහිව නිව් මෙක්සිකෝ අධිකරණයක් විසින් රුපියල් කෝටි 5,404ක වන්දියක් ගෙවන ලෙස නියෝග කර ඇත. දරුවන්ගේ මානසික සෞඛ්‍යයට බලපෑම් ඇති කිරීම සහ ඔවුන්ට එරෙහිව සිදුවන ලිංගික අපයෝජන සම්බන්ධ තොරතුරු වසන් කිරීම යන චෝදනා මත මෙම නඩු තීන්දුව ලබා දී තිබේ.

මෙම නඩුවේ දෙවන අදියරේ තීන්දුව පසුගිය අගෝස්තු 06 වන දින ප්‍රකාශයට පත් කෙරිණි. මීට පෙර පසුගිය මාර්තු මාසයේදී ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙටා සමාගමට රුපියල් කෝටි 3,574ක දඩයක් පැනවීමට අධිකරණය කටයුතු කර තිබුණි.

අධිකරණ නියෝගයට අනුව, අය කරගන්නා වන්දි මුදලින් රුපියල් කෝටි 4,000කට වැඩි මුදලක් බලපෑමට ලක්වූ දරුවන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා වෙන් කරනු ඇත. ඉතිරි මුදල ඉදිරි වසර පහක කාලය තුළ දරුවන් ආරක්ෂා කිරීමේ වැඩසටහන් සහ දැනුවත් කිරීමේ ක්‍රියාමාර්ග සඳහා යොදවන බව අධිකරණය සඳහන් කරයි.

කෙසේ වෙතත්, මෙම තීන්දුව සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරන මෙටා සමාගම, ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත. තරුණ පරපුර සමාජ මාධ්‍ය හරහා ආරක්ෂා කිරීමට තම සමාගම ගෙන ඇති පියවරයන් පිළිබඳව තමන් තවමත් විශ්වාසයෙන් පසුවන බව මෙටා ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version