ජගත් ආදිවාසී දිනය සැමරීමට සමගාමීව, මෙරට ආදිවාසී ප්‍රජාවගේ සාම්ප්‍රදායික උරුමය සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් නව නීතිමය රෙගුලාසි මාලාවකට පරිසර අමාත්‍ය වෛද්‍ය දමිමික පටබැඳි මහතා විසින් අත්සන් තබා ඇත. පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවති මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

පවතින වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනත යටතේ මෙම නව නියෝග ප්‍රකාශයට පත් කර ඇත්තේ, මාදුරුඔය සහ ගල්ඔය ජාතික උද්‍යාන ආශ්‍රිතව වෙසෙන ආදිවාසී ජනතාවට සිය දෛනික කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවස්ථාව සලසා දීමේ අරමුණෙනි. මීට පෙර පැවති නීතිමය ගැටලු නිරාකරණය කරමින්, ඔවුන්ගේ සාම්ප්‍රදායික යැපුම් රටාවන්ට නිල අනුමැතියක් ලබා දීම මෙහි විශේෂත්වයකි.

මෙම නියෝග යටතේ අදාළ බලපෑම් කලාපවල පදිංචි 18ට වැඩි ආදිවාසී සාමාජිකයන් ලියාපදිංචි කිරීම සිදු කෙරේ. ඒ සඳහා ප්‍රජා නායකයන්ගේ නිර්දේශය මත වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉල්ලුම්පත් යොමු කළ යුතු අතර, ලියාපදිංචි සාමාජිකයන්ට විශේෂ හැඳුනුම්පතක් නිකුත් කරනු ලැබේ.

නව රෙගුලාසිවලට අනුව, රක්ෂිත තුළ සිදුකරන සියලු ක්‍රියාකාරකම් සාම්ප්‍රදායික ක්‍රමවේදවලට පමණක් සීමා විය යුතුය. වාණිජ උපකරණ භාවිතය හෝ එකතු කරගන්නා ද්‍රව්‍ය වාණිජ කටයුතු සඳහා යොදා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම් වේ. පාරිසරික පද්ධතියේ ආරක්ෂාව තහවුරු කරමින්, ආදිවාසී ජනතාවගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීම මෙම නව නීති මාලාවේ මූලික අරමුණයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version