දිවුලපැලැස්ස තෙතුණු කෘෂිකාර්මික සමුපකාර සමිති පරිශ්‍රයේ ඉදිකරන ලද නවීන වී බීජ නිෂ්පාදන යන්ත්‍රය සහ මධ්‍යස්ථානය පසුගියදා (09) වතු යටිතල පහසුකම් සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 88ක මුදලක් වැය කර ඇති අතර, දේශීය කෘෂිකර්මාන්තය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කර ගොවීන්ගේ ආදායම් මාර්ග ශක්තිමත් කිරීම මෙහි මූලික අරමුණයි. උසස් තත්ත්වයේ වී බීජ නිෂ්පාදනය ඉහළ නැංවීම මගින් ගොවි ජනතාවගේ ආර්ථික මට්ටම ඉහළ නැංවීමට රජය අපේක්ෂා කරයි.
උත්සව අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, වසර 20ක කාලයක් පුරා ගොවි ජනතාව වෙනුවෙන් තෙතුණු සමුපකාර සමිතිය ඉටුකරන සේවාව අගය කළේය. තාක්ෂණික පහසුකම් ලබාදීම තුළින් කෘෂි නිෂ්පාදනවල අගය එකතු කිරීම සහ වෙළඳපොළ අවස්ථා පුළුල් කිරීම රජයේ ප්‍රමුඛතාවයක් බවද ඔහු අවධාරණය කළේය.
මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ සමුපකාර සමිති සාමාජිකයින් රැසක් එක්ව සිටියහ.
