පොලිස්පතිවරයාගේ නායකත්වයෙන් පසුගිය වසරක කාලය තුළ ශ්‍රී ලංකා පොලිසිය විසින් අපරාධ මර්දනය සහ පොලිස් සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම වෙනුවෙන් පුළුල් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කර ඇත. ජාත්‍යන්තර සහයෝගය ඇතිව විදේශයන්හි සැඟවී සිටි සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 63 දෙනෙකු මෙරටට ගෙන්වා නීතිය හමුවට පැමිණවීමට පියවර ගෙන තිබේ.
මෙම කාලසීමාව තුළ මත්ද්‍රව්‍ය වැටලීම් 771,580ක් සිදුකර ඇති අතර, සැකකරුවන් 770,098ක් අත්අඩංගුවට ගෙන ඇත. එසේම, පොලිස් ඉතිහාසයේ වැඩිම ගිනිඅවි ප්‍රමාණයක් එනම් ගිනිඅවි 6,966ක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වීම කැපී පෙනේ.
පොලිස් නිලධාරීන්ගේ සුබසාධනය උදෙසාද විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, නිලධාරීන් 4,680කට උසස්වීම් ලබාදීම සහ ඔවුන්ගේ වෛද්‍ය පහසුකම් පුළුල් කිරීම සිදුකර ඇත. විශේෂයෙන්ම බරපතල රෝගාබාධ සඳහා ලබාදෙන මූල්‍ය ආධාර රුපියල් මිලියන 2 දක්වා වැඩිකිරීම සහ පොලිස් නිලධාරීන්ගේ දරුවන් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ වයස් සීමාව දීර්ඝ කිරීම මෙහිදී වැදගත් වේ.
යටිතල පහසුකම් සංවර්ධනය යටතේ පොලිස් ස්ථාන නවීකරණයට සහ වාහන පහසුකම් වැඩිදියුණු කිරීමට රුපියල් බිලියන ගණනක ආයෝජනයක් සිදුකර ඇත. මීට අමතරව, පොලිස් නිලධාරීන්ගේ නිවාස ගැටලු විසඳීම සඳහා නිවාස සංකීර්ණ මිලදී ගැනීම සහ නව නිල නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිද ක්‍රියාත්මක කර තිබේ.
පොලිස් සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට නව වැටුප් සහ විශ්‍රාම වැටුප් ව්‍යුහයක් සකස් කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බවත්, 2026 වසරේදී නව නිලධාරීන් 7,500ක් බඳවා ගැනීමට අපේක්ෂා කරන බවත් වාර්තා වේ.
