ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් BBC මාධ්‍ය ආයතනයට එරෙහිව පවරා ඇති ඩොලර් බිලියන 10ක අපහාස නඩුව මේ වන විට උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. මෙම නඩුවට අදාළව ට්‍රම්ප්ගේ පවුලේ සමීප සාමාජිකයන්ගෙන් ලේඛන සහ සාක්ෂි ලබාගැනීම සඳහා BBC නීතිඥයන් උත්සාහයක නිරත වන බව වාර්තා වේ.
අධිකරණ ලේඛනවලට අනුව, පසුගිය මැයි මාසයේදී ට්‍රම්ප්ගේ පුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර්, දියණිය ඉවන්කා ට්‍රම්ප් සහ බෑනා ජැරඩ් කුෂ්නර් වෙත උපනීති නියෝග ලබාදීමට BBC පාර්ශ්වය කටයුතු කර ඇත. ට්‍රම්ප්ගේ කතාවේ අරමුණු සහ ඒ හා සම්බන්ධ පසුබිම් තොරතුරු පිළිබඳව මෙම පවුලේ සාමාජිකයන්ට පෞද්ගලික දැනුමක් තිබිය හැකි බව ඔවුන්ගේ තර්කයයි.
2024 වසරේ විකාශය වූ BBC Panorama වැඩසටහනකදී, 2021 ජනවාරි 6 වැනිදා කැපිටල් ගොඩනැගිල්ලට එල්ල වූ ප්‍රහාරයට පෙර ට්‍රම්ප් සිදුකළ කතාවක් සංස්කරණය කර විකාශය කිරීම මෙම නඩුවට මූලික වී ඇත. එම සංස්කරණය හේතුවෙන් ට්‍රම්ප් ප්රචණ්ඩ ක්‍රියාවලට පෙළඹවූ බවට වැරදි හැඟීමක් ඇති වූ බව පිළිගනිමින් BBC ආයතනය මීට පෙර සමාව අයැද සිටියේය.
කෙසේ වෙතත්, එම සංස්කරණය තම කීර්තිනාමයට සහ ව්‍යාපාරික වටිනාකමට බරපතල හානියක් සිදුකළ බව පවසමින් ට්‍රම්ප් මෙම නඩුව පවරා ඇත. මේ වන විට පවුලේ සාමාජිකයන්ට උපනීති නියෝග භාරදීමේ ක්‍රියාවලියට එක්සත් ජනපද රහස් සේවයේ ආරක්ෂක මැදිහත්වීම් හේතුවෙන් බාධා එල්ල වී ඇති අතර, විකල්ප ක්‍රමවේදයක් හරහා එම නියෝග ලබාගැනීමට BBC අවසර ඉල්ලා තිබේ.
