මොරටුව අඟුලාන මුහුදු තීරයේදී නාවික හමුදාවට අයත් වේග ප්රහාරක යාත්රාවක් මුහුදේ ගිලී තිබූ පැරණි නෞකාවක ගැටීමෙන් අනතුරට ලක්ව තිබේ. රාජකාරි කටයුතු නිමවා ආපසු පැමිණෙමින් තිබූ යාත්රාවේ නිලධාරීන් 12 දෙනෙකු ගමන් කර ඇති අතර, අනතුරත් සමඟ යාත්රාව මුහුදුබත් වී ඇත.
අනතුර දුටු ප්රදේශවාසීන් වහාම අඟුලාන පොලිසිය දැනුවත් කිරීමෙන් පසු, පොලිස් ස්ථානාධිපතිවරයාගේ මැදිහත්වීම මත ධීවර ප්රජාව තම ජීවිත පවා නොතකා මුහුදට ගොස් නාවිකයන් 11 දෙනෙකු බේරාගෙන ගොඩබිමට රැගෙන ඒමට සමත් විය. බේරාගත් නාවිකයන් වැලිසර නාවික හමුදා රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව නාවික හමුදාව පවසයි.
කෙසේ වෙතත්, යාත්රාවේ ගමන් කළ තවත් නිලධාරියෙකු අතුරුදන්ව ඇති අතර, ඔහුව සොයා නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසිය එක්ව දැවැන්ත සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබේ.
ප්රදේශවාසීන් පවසන පරිදි, මෙම අනතුර සිදුවූ ස්ථානයේ ගිලී ඇති නෞකාව පිළිබඳව බලධාරීන්ට මීට පෙර අවස්ථා ගණනාවකදී දැනුම් දී ඇතත්, නිසි ආරක්ෂිත පියවරක් හෝ අනතුරු ඇඟවීමේ බෝයාවන් යෙදීමට කටයුතු කර නොතිබීම මෙවැනි අනතුරු සිදුවීමට ප්රධාන හේතුවක් වී ඇත.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ මුහුදේ රළු ස්වභාවය නිසා ගිලී ගිය යාත්රාව ගොඩගැනීමේ කටයුතු අසීරු වී ඇති බව නාවික හමුදා මාධ්ය ප්රකාශකවරයා සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා විශේෂ කමිටුවක් පත්කර ඇත.
