දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මොණරාගල, පොළොන්නරුව, හම්බන්තොට, අම්පාර සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල වී සහ බඩ ඉරිඟු ඇතුළු වගාවන්ට දැඩි හානි සිදුව ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

මෙම තත්ත්වය යටතේ හානියට පත් කුඹුරු අක්කර 6,073ක වපසරියක වගා කර තිබූ ගොවීන් 4,700කට අධික පිරිසකට වන්දි ලබා දීම සඳහා මේ වන විටත් කටයුතු සූදානම් කරමින් පවතී. හානියට පත් වගා බිම් නිරීක්ෂණය කිරීම සඳහා නිලධාරීන් මේ වන විටත් ක්ෂේත්‍ර රාජකාරි ආරම්භ කර ඇත.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා උපදෙස් ලබා දී ඇත්තේ, හානියට පත් ගොවීන්ට හැකි ඉක්මනින් වන්දි ලබා දී ඔවුන්ගේ ආර්ථික අපහසුතා මඟහරවා දෙන ලෙසයි. ඒ අනුව, වී සහ බඩ ඉරිඟු ඇතුළු බෝග වර්ග හයක් සඳහා හෙක්ටයාරයකට රුපියල් 100,000 බැගින් උපරිම වශයෙන් අක්කර පහක් දක්වා වන්දි මුදල් ගෙවීමට රජය තීරණය කර ඇත.

තම වගාවන්ට හානි සිදුව ඇති ගොවීන් වහාම කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ක්ෂේත්‍ර නිලධාරීන් හමුවී හෝ අදාළ ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානවල පවත්වාගෙන යනු ලබන හානි දැනුම්දීමේ ලේඛනයේ තම තොරතුරු සටහන් කරන ලෙස බලධාරීන් දැනුම් දෙයි.

මෙම වන්දි ක්‍රියාවලිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අවශ්‍ය ඕනෑම ගොවි මහතෙකුට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ කෙටි ඇමතුම් අංකය වන 1918 ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකිය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version