යුක්රේනයේ ප්‍රදේශ කිහිපයකට රුසියානු හමුදා විසින් එල්ල කරන ලද දැඩි ප්‍රහාර හමුවේ පුද්ගලයන් කිහිප දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව එරට බලධාරීහු පවසති. ක්‍රිවි රිහ් නගරයේ සාප්පු සංකීර්ණයකට මෑතකදී එල්ල වූ ප්‍රහාරයෙන් පසු මෙම නවතම ප්‍රහාර වාර්තා වී තිබේ.

කියෙව් අගනුවර ඩාර්නිට්ස්කි දිස්ත්‍රික්කයේ ගබඩාවක හටගත් ගින්නක් හේතුවෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා ඇත. සපොරීෂියා නගරයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් ද තවත් ජීවිතක්ෂයක් සහ තුවාල ලැබීම් වාර්තා වී තිබේ.

මේ අතර, මයිකොලයිව් ප්‍රදේශයේ සිදු වූ ප්‍රහාරවලින් දරුවන් තිදෙනෙකු ඇතුළුව පුද්ගලයන් සිව්දෙනෙකු මියගොස් ඇති අතර, කාර්කිව් ප්‍රදේශයෙන් ද තවත් මරණ දෙකක් වාර්තා වී ඇත. යුක්රේන බලධාරීන් සඳහන් කරන පරිදි, මෙම ප්‍රහාර හේතුවෙන් සිවිල් ජනතාවට බරපතළ හානි සිදුව තිබේ.

ප්‍රහාරවලින් පීඩාවට පත් ප්‍රදේශවල සෙවුම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත්, ඇතැම් ප්‍රදේශවල යටිතල පහසුකම්වලට ද හානි සිදුව ඇති බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version