උතුරු පළාතේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන විශේෂ අවශ්‍යතා සහිත සිසුන් 75 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂය බැගින් මූල්‍ය ආධාර සහ ඇගයීම් සහතික පිරිනැමීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබේ.

ජනාධිපති අරමුදල මඟින් සංවිධානය කරන ලද “සැරසවි දිරියෝ අභිමන්” උපහාර උළෙල යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර, එහිදී මෙම මූල්‍ය ආධාර පිරිනැමීම සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, මෙරට තුළ නැවත කිසි දිනෙක යුද්ධයක් ඇති නොවන පරිදි කටයුතු කිරීමටත්, ගැටුම් සඳහා බලපාන මූලික හේතු ඉවත් කිරීමටත් රජය දැඩි කැපවීමකින් ක්‍රියා කරන බවයි.

අතීතයේ පැවති දරුණු යුද වාතාවරණය හේතුවෙන් මෙරට වැඩිම ආබාධිත ප්‍රජාවක් ජීවත් වන්නේ උතුරු සහ නැගෙනහිර පළාත්වල බැවින්, මෙවැනි සුබසාධන වැඩසටහන් එම ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් වන බව ද ඇය පෙන්වා දුන්නාය.

මීට පෙර වරප්‍රසාද ලත් සීමිත පිරිසකට පමණක් සීමා වී තිබූ ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභ, සාමාන්‍ය ජනතාව වෙත සමීප කිරීමට හැකිවීම රජය ලැබූ විශාල ජයග්‍රහණයක් බව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කළාය.

කිසිවෙකුත් මඟ නොහැරෙන, රටේ සියලුම පුරවැසියන්ට සමාන අවස්ථා හිමිවන සාධාරණ සමාජයක් ගොඩනැගීම රජයේ මූලික අරමුණ බව ද ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version