කිසිදු පුරවැසියෙකු මඟ නොහැර රටේ සියලුම දෙනාට සමාන අයිතිවාසිකම් සහ අවස්ථා ලබා දීම වත්මන් රජයේ ප්‍රධානතම ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. ඇය මේ බව පැවසුවේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ‘සරසවි දිරියෝ අභිමන්’ වැඩසටහනට එක්වෙමිනි.

ජනාධිපති අරමුදල මගින් සංවිධානය කළ මෙම වැඩසටහනේදී උතුරු පළාතේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසු සිසුවියන් 75 දෙනෙකු වෙත ඇගයීම් සහතික සහ මූල්‍ය දීමනා පිරිනැමීම අග්‍රාමාත්‍යවරිය අතින් සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, යුද්ධයේ අමිහිරි අත්දැකීම් වැඩිපුරම විඳි උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම රජයේ ප්‍රමුඛතාවක් බවයි. ආබාධ සහිත සිසුන් මුහුණ දෙන භෞතික හා සමාජීය බාධක ජය ගනිමින් ඔවුන් ලබා ඇති ජයග්‍රහණය සෙසු තරුණ පරපුරට විශාල ආදර්ශයක් බවද ඇය පෙන්වා දුන්නාය.

අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධ සහිත සිසුන් වෙනුවෙන් රජය දැනටමත් මාසික දීමනා ලබා දීම සහ අධ්‍යාපනය සඳහා තාක්ෂණික සහය ලබා දීමේ නියමු ව්‍යාපෘති ආරම්භ කර ඇති බවද අග්‍රාමාත්‍යවරිය සිහිපත් කළාය. කායික සීමාවන් තිබුණද සිහිනවලට සීමා මායිම් නොතබන ලෙස ඇය සිසුන් දිරිමත් කළාය.

මෙම අවස්ථාවට කථානායක ජගත් වික්‍රමරත්න, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගන්, ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version