රටේ සෞඛ්‍ය පද්ධතිය තුළ හදිසි ප්‍රතිකාර සේවා වඩාත් කාර්යක්ෂම සහ ප්‍රමිතිගත කිරීමේ අරමුණින් නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඒ අනුව, ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව දිවයින පුරා පිහිටි මූලික රෝහල් 82ක් තෝරාගෙන එම රෝහල්වල හදිසි ප්‍රතිකාර ඒකක සහ ප්‍රාථමික සත්කාර ඒකක වැඩිදියුණු කිරීමට කටයුතු යොදා තිබේ.

මීට සමගාමීව, පුත්තලම දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා හදිසි සත්කාර සේවා පිළිබඳ පුහුණු වැඩසටහනක් හලාවත දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්විණි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහනට වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන් 180ක් පමණ සහභාගී වූහ.

වර්තමානයේ විවිධ සෞඛ්‍ය ආයතනවල හදිසි ප්‍රතිකාර ලබාදීමේදී අනුගමනය කරන ක්‍රමවේදයන්ගේ පවතින වෙනස්කම් හේතුවෙන් ඇතැම් ගැටලු මතුව ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය. එම තත්ත්වය මඟහරවා ගනිමින්, රටේ සියලුම රෝහල්වල එකම ප්‍රමිතියකින් යුත් හදිසි ප්‍රතිකාර සේවාවක් ජනතාවට ලබාදීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි.

මෙම පුහුණු වැඩසටහන හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ පවුල් වෛද්‍යවරුන්ගේ සංගමය එක්ව සංවිධානය කරනු ලබයි. ඉදිරියේදී සෞඛ්‍ය පද්ධතියේ සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය ඇතිව මෙම වැඩපිළිවෙළ රට පුරා ව්‍යාප්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version