හෝමූස් සමුද්‍රසන්ධිය හරහා ගමන් කරන විදේශීය නෞකාවන්ගෙන්, ඉරානය විසින් සපයනු ලබන සේවාවන් වෙනුවෙන් ගාස්තු අය කිරීමට ප්‍රතිපාදන සැලසෙන නව පනත් කෙටුම්පතක් ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ කොමිසම විසින් අනුමත කර ඇත.
මෙම පියවරත් සමඟ මැදපෙරදිග කලාපයේ උණුසුම්කාරී තත්ත්වය යළිත් වර්ධනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරානයට එරෙහිව දැඩි ආර්ථික සම්බාධක පැනවීමට ඇමරිකා එක්සත් ජනපදය සූදානම් වන පසුබිමක මෙම තීරණය ගැනීම විශේෂත්වයකි.
ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානය වෙත ලැබෙන සෑම ආර්ථික උපකාරයක්ම සම්පූර්ණයෙන්ම අත්හිටුවීම වොෂින්ටනයේ ප්‍රධාන අරමුණ බවයි. කෙසේ වෙතත්, ඇමරිකාව ටෙහෙරානයට එරෙහිව ආර්ථික යුද්ධයකට අවතීර්ණ වීම, ඔවුන් ලැබූ හමුදාමය පරාජය වක්‍රව පිළිගැනීමක් බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ මාධ්‍ය ප්‍රකාශක සර්දාර් මොහෙබි පවසයි.
මේ අතර, ගාසා තීරයේ ස්ථාන කිහිපයකට ඊශ්‍රායල හමුදාව විසින් අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් පවතින අතර, මගාසි සරණාගත කඳවුර ආසන්නයේ පිහිටි ගබඩාවක් ද මෙම ප්‍රහාරවල ඉලක්කයක් වී තිබේ. කලාපීය වශයෙන් පවතින මෙම ගැටුම්කාරී තත්ත්වයන් හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුම් දාමය කෙරෙහි බලපෑම් ඇති විය හැකි බවට විචාරකයෝ අනතුරු අඟවති.
